
‘රසායනික ද්‍රව්‍ය යොදාගෙන වගා කරනවාට වඩා කාබනික පොහොර යොදා ගෙන වස විස භාවිතයෙන් තොරව ආහාර නිෂ්පාදනයට රට යොමු විය යුතු යුගය දැන් උදාවී තිබෙනවා

ගලේවෙල බම්බාව රජ මහා විහාරය සතු කුඹුරු යායක කාබනික වගා ක්‍රමය යටතේ ඉපැරැණි චාරිත්‍රානුකූලව පැළ සිටුවීමේ අවස්ථාවක් අද (20) දින උදෑසන පැවැත්විණි.
බම්බාව රජ මහා විහාර භාරකාර අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ලේනව මංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවතිවති මෙම ගොයම් පැළ සිටුවීම සඳහා ප්‍රදේශයේ කාන්තාවෝ රැසක් එක්ව සිටියහ.

රාජ්‍ය සේවයේ නියතු ගොවි මහතෙකු මෙම ගොයම් පැළ සිටුවීම සඳහා මූලික වී තිබේ.
මහා සංඝරත්නය කුඹුරට වඩමවා දැහැත් වට්ටියක් පිළිගන්වා ආශිර්වාද පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව කාන්තාවෝ බම්බාව රජ මහා විහාරස්ථ කුඹුරු යායේ කාබනික වගා ක්‍රමය යටතේ ගොයම් පැළ සිටුවීම් ආරම්භ කළහ.
මෙම අවස්ථාවේ ගොයම් පැළ සිටුවීම් සිදු කරන ලද කාන්තාවෝ ඉපැරණි ගොයම් කවි ගායනා කරමින් වෙහෙස නිවා ගනිමින් පැළ සිටුවීම සිදු කරන ලද අතර ඇතැම් කාන්තාවන් කියා සිටියේ මෙම කවි පන්ති කාලයක් තිස්සේ අමතකව ගිය ද සිතේ රඳවා ගෙන ඒවා මේ ආකාරයෙන් ගායනා කළ බවය.

එමෙන්ම ඉබුල් කිරිබත් සකසා කැවුම්, අතිරස, කෙසෙල් ගෙඩි ආදී සාම්ප්‍රදායික කැවිලි වර්ග පිරි කුරුණියක තබාගෙන ගෙවිලිය විසින් ඒවා කුඹුර වෙත රැගෙන ඒම සිදු කළ අතර ඒවා ගොයම් පැළ සිටුවන කාන්තාවන්ට පිළිගැන්වන ලදි.


මේ අසිරිමත් අවස්ථාව පිළිබඳව ලේනව මංගල නා හිමියෝ මෙසේ කීහ, ‘රසායනික ද්‍රව්‍ය යොදාගෙන වගා කරනවාට වඩා කාබනික පොහොර යොදා ගෙන වස විස භාවිතයෙන් තොරව ආහාර නිෂ්පාදනයට රට යොමු විය යුතු යුගය දැන් උදාවී තිබෙනවා. මම මේ කටයුත්ත ආරම්භ කිරීමට සැලසුම් කරන විට වකුගඩු රෝගීන් පිරිසක් මා හමුවට පැමිණියා. ඔවුන් ඉල්ලා සිටියේ රෝහල් හදනවට වඩා දේශීය පොහොර යොදා ගෙන වස විසෙන් තොරව ආහාර නිෂ්පාදනයට සහාය දෙන ලෙසයි‘

මෙම වගාව කරවන බව කියන රාජ්‍ය සේවකයා කියා සිටියේ තමන්ට හැකි ආකාරයෙන් ඉපැරණි අපේ දේ ආරක්ෂා කරමින් මතු පරපුරට ඒවා නැවත දැක ගැනීම සඳහා තමන් මෙම කර්තව්‍යයට අවතීරණ වූ බවය.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල